Saturday, May 23, 2015

ගංගා වැනසීමේ අනාගත අනතුර


සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සමාජීය හා සංස්කෘතික අගයයන් හා බැඳුණු සංවර්ධන ක්‍රියාදාමයන් දෙස බලන කල ජලය එම සංවර්ධන කාර්යන් වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය සම්පතකි.පාරිසරික විපර්යාසයන්,මිනිස් ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසයන් හා භෞතික සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් පානීය ජලය අද සීමිත සම්පතක් බවට පත්ව ඇත.පානීය ජල නිෂ්පාදන ක්‍රියා වලියට මූලික දායකත්වයක් ලබා දෙන්නේ දිවයින තුළ පිහිටි ප්‍රධාන ගංඟා හා ජලාශ වේ.එම ගංඟා ජලය හා ඒ ආශ්‍රිත පරිසරය රැක ගැනීම සත්තකින්ම,අද අප හමුවේ ඇති මුලික අභියෝගයකි.

ලංකාවේ ප්‍රධාන ගංගාවල පවතින විශාල වූ ජල ධාරිතාව නිසා පානීය ජලය අඩුවක් නොමැතිව ලබා ගත හැකි යැයි අප බොහෝ දෙනෙකු තුල මතයක් ඇත.එහෙත් අපට ජලය ලබා දෙන ගංගාවන් අතුරින් ප්‍රධාන වශයෙන් කැලණි,කළු,මහවැලි,වලවේ වැනි ගංගාවලට මෙන්ම ප්‍රධාන ජල මුලාශ්‍රවලට පාරිසරික බලපෑම් හා අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන වෙනස්කම් වලට ඔරොත්තු දීමේ සදාකාලික හැකියාවක් නොමැත.


දැනට ලංකාවේ පානීය ජල නිෂ්පාදනයට ජලය ලබා ගන්නා ගංගාවල පාරිසරික පද්ධතිය අවුරුදු ගණනාවක් තිස්සේ සැදුම් ලද්දකි.එම පාරිසරික පද්ධතිය විනාශ වීමට බලපාන තර්ජන රාශියක් පවතී.එනම් ගංගාවන් හා ඒ අවට පරිසර පද්ධතිය තුළ ඇති සම්පත් සීමාවකින් තොරව ප්‍රයෝජනයට ගැනීම,ගංගාවල ඉහළ ජලධාර හා ජල පෝෂක ප්‍රදේශ ඉතා ශීග්‍රයෙන් විනාශ වීම,ගංගා පරිසර පද්ධතියට හානිවන ඉදිකිරීම් පරිසරයට බාධා වන සංවර්ධන ක්‍රියාකාරකම් හා පෘථිවි දේශගුණික වෙනස් වීම ප්‍රධාන හේතු සාධක වේ.බොහෝ විට ගංගා පරිසර පද්ධතියේ නිසි කළමනාකරණයකින් තොරව මිනිස් ක්‍රියාකාරකම් සිදුවන්නේ ගංගා මෝයට ආසන්න ප්‍රදේශවලය.මුහුදු මට්ටමට වඩා ඉහළින් පිහිටා තිබූ ගංගාවල සීමාවකින් තොරව හා අත්තනෝමතික ලෙස වැලි ගොඩ දැමීම හා ගංගා පතුල ඇඳීම මගින් මෙන්ම යන්ත්‍ර සුත්‍ර  භාවිතයෙන් ගංගා පතුලේ මැණික් ගැරීම ආදී ක්‍රියාකාරකම් මගින් ගං පතුලේ මට්ටම පහළ බැසීම නිසා ගංගාව දිගේ වැඩි දුරක් ඉහළට මුහුදු ජලය මිශ්‍රවීම සිදු වී ඇත.

මෙවැනි තත්වයක් යටතේ පසුගිය දිනවල ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කෙත්හේන ජල පවිත්‍රාගාරය පසුකර කළු ගඟේ ඉහළට මුහුදු ජලය ඇතුළු වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති වූ අතර එමනිසාප්‍රදේශරැසකට(වාද්දුව,කළුතර,පයාගල,බේරුවල,අලුත්ගම,බෙන්තර)පානීය ජලය සැපයීමට බාධා ඇති විය.ගංගා ජලයට මුහුදු  ජලය එක්වූ විට එම තත්වය පානීය ජල සැපයුමට බලපාන අතර ලවණ සහිත ජලය පිරිසිදු කිරීම තාක්ෂණික වශයෙන් ගැටළු සහගත හා අධික වියදමක් දැරිය යුතු කටයුත්තකි.මේ නිසා වියළි කාලවලදී ගංගා ජලයට මුහුදු ජලය එක්වීමෙන් පානීය ජල නිෂ්පාදනය යම් කිසි දුරකට සීමා කිරීමට සිදු වේ.

ස්වභාවික ගංගා පරිසර පද්ධති බොහොමයක් නැවත යථා තත්වයට පත් කළ නොහැකි ප්‍රමාණයට විනාශ වී ඇත්තේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජනාවාස ඇති වීම,කුණු කසළ හා අපවිත්‍ර ජලය ගංගා ජලයට මුසු කිරීම,කර්මාන්ත ආශ්‍රිතව රසායනික හා රසායනික නොවන අපිරිසිදු ජලය ප්‍රමිතියකින් තොරව ගංගා ජලයට බැහැර කිරීම වැනි ක්‍රියාකාරකම් නිසාය.ගංගාවන්වල ජල සම්පත සීග්‍රයෙන් අපිරිසිදු වීමත් ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය හා භූගත ජලය වීමත් නිසා අද අපි උග්‍ර ජාල හිඟයකට මුහුණ පා ඇත.රට තුළ ගංගා ඇළ,දොළ සිය ගණනක් පමණ පවතින අතර ඒවායේ බිහිවීම කඳුකර තෙත් බිම් ප්‍රදේශ වලිනි.

මහවැලි,කැළණි,කළු,වලවේ වැනි ප්‍රධාන ගංගා දිවයිනේ කඳුකර පරිසරය තුළින් ආරම්භ වන අතර ස්වභාවධර්මය විසින්ම නිර්මාණය කළ පානීය ජල මුලාශ්‍රයයි.මෙම ගංගාවන් ආරම්භ වන්නේ කුඩා දිය ඇළි සහා දිය පහරවල් ලෙසින් කඳුකර තෙත් බිම් අතරින් ඒමෙනි.එම පරිසර කලාපයේ ජල පෝෂක ප්‍රදේශයට අයත් වැසි වනාන්තර තුළ සතුන්,ගස්  වැල් අසීමිත ප්‍රමාණයක් මිනිසාව පෝෂණය කිරීම සඳහා අමිල සේවයක් සපයනු ලැබේ.දැනට මෙම මෙම ඉහළ ජලධාරයේ හා ජල පෝෂක ප්‍රදේශයට අයත් රක්ෂිත වැසි වනාන්තර අනවසරයෙන් හා ඉතා විශාල පරිමාණයෙන් එළි කිරීම සිදු වුයේ මෙම ප්‍රදේශවල තේ වගාව ආරම්භ කිරීම නිසාය.මෙම ජල පෝෂක ප්‍රදේශයේ නොරැඳී ගලා ගෙන යාමෙන් ගංගාවල ජලය බොරවිමටත් එම බොර ජලය මගින් ගංගාවේ ඉවුරු ඛාදනය වැඩි කිරීමත් සිදු වේ.

තවද වර්ෂා කාලයේ ලැබෙන ජලය ජල පෝෂක ප්‍රදේශ තුළ නොරැඳී ගංගා දිගේ මුහුදට ගලා බැසීමෙන් වියළි කාලය ආරම්භ වන විට ගංගාව තුළ ඉතා අඩු ජල ධාරිතාවක් ඇති වේ.ජල පෝෂක ප්‍රදේශ මැණික් ගැරීමට මෙන්ම,මැටි ආශ්‍රිත ව කරන කර්මාන්ත සඳහා මැටි කපා ඉවත් කිරීම මගින් ද විශාල හානියක් සිදු කරනු ලබයි.මෙහිදී පරිසරයට හානි නොවන සේ මිනිස් ක්‍රියාකාරකම් කිරීමට ක්‍රමවේද සහ මග පෙන්වීම හඳුන්වාදී තිබුනත් ඒවා එම කර්මාන්ත ආශ්‍රිතව කටයුතු කරන පිරිස් අනුගමනය නොකිරීම හේතුවෙන් ගංගා ආශ්‍රිත ජල පෝෂක පරිසරය නිර්මාණය වූ වේගයට වඩා වැඩි වේගයකින් විනාශ වෙමින් පවතී.හොරුන්ට නතු වූ දැව කර්මාන්තය නිසාද,වැලි මෙන්ද මැටි කර්මාන්තය සඳහා කර්මාන්තකරුවන් ගංගා ආශ්‍රිතව මැටි ලබා ගැනීම නිසා විශාල වශයෙන් වළවල් හැරීම මගින් පාරිසරික හා සෞක්‍ය ප්‍රශ්න රැසක් ඇති වී තිබේ.

ගංගා පෝෂක ප්‍රදේශයේ වළවල් හෑරීම නිසා ගංගා පරිසරය ආශ්‍රිත පහත් බිම් විනාශවීම මගින් ගංගා ආශ්‍රිතව ජල ගබඩා කළ ප්‍රදේශ විනාශ වී ඇත.මෙය ඉතා භයානක තත්වයකි.මෙම නිසා අප මෙයට සුදුසු ක්‍රියාමාර්ගයක් යෙදිය යුතු වේ.