ශ්‍රී ලංකාව තුළින් මී මැස්සන් වඳවී යෑමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙමගින් අනාගතයේ ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවිය හැකි බැව් පරිසර සංවිධාන අනතුරු අගවති.කෘමි නාශක භාවිතය හා පාරිසරික හානි හේතුවෙන් මේ තත්වය තවත් තීව්‍ර වී ඇතැයිද මී මැස්සන් රැක ගැනීම වෙනුවෙන් කිසියම් සංවිධානාත්මක කාර්ය භාරයක අවශ්‍යතාව වර්තමානය තුළ දැඩිව දක්නට අත්යිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෛව විවිධත්ව අධ්‍යන හා පර්යේෂණ කේන්ද්‍රය පෙන්වා දෙයි.
මී මැස්සා කෘමි ගණයට අයත් වන ඉතා කුඩා සතෙකි.සමූහ වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වන මී මැස්සා කඩිසරය,ක්‍රියාශිලීය.මලින් මලට ගොස් රොන් ගෙනැවිත් මී මැස්සා තනන මී වදය දක්ෂ වඩුවකුටත් සෑදිය නොහැකි තරම් විස්කම් නිර්මාණයකි.
මී මැසි ජනපදයේ ආරක්ෂාව හා සංවර්ධනය ගැන සිතමින් මී මැස්සා ක්‍රියා කරන ආකාරය මිනිස් සමාජයටත් කදිම ආදර්ශයකි.මී මැස්සා ලබා දෙන මී පැණි නැමෙති වටිනා ඖෂධය වර්තමානයේ මිනිසාගේ අදායම් මාර්ගයක් ද වී ඇත.කඩිසරකම,එකමුතුකම සහ සහයෝගයෙන් වැඩ කිරීම යන ආදර්ශ ලොවට කියා දෙන මී මැස්සන් ලොවෙන් වඳ වී යාමේ තර්ජනයකට ලක්වීම අනිටු විපාක ගෙන දිය හැකි තත්වයක් බව පරිසරවේදීහු පවසති.
ශ්‍රී ලංකාවේ බිඟු සම්පත වර්ග 4කි.බඹරා,මී මැස්සා,දඬුවෙල්ල්ළැ,මැස්සා සහ කණ මීයා මැස්සා යනු ඒ වර්ග හතරයි.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන දැවැන්ත වනාන්තර විනාශය,ප්‍රමිතියෙන් තොර කෘමි නාශක භාවිතය,බඹර කැපීම සහ මී දඩයම යනාදී කරුණු නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ බිඟු සම්පත වන්දවීගෙන යන තත්වයක් ඇති වෙලා තියෙනවා.
අද වන විට මේ තත්වය අපේ රටට පමණක් නොවෙයි මේ තත්වය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් පවා සංවාදයක් ඇති වෙලා තියෙනවා.මෙම මී මැස්සන්,බඹරු වඳවී යාම පරාගන ක්‍රියාවලියට දැඩි ලෙස බලපානවා.මේ සතුන් වඳවුනොත් අස්වැන්න අඩු වීමට හේතු වේවි.බොහෝ විට මල් පරාගන වෙලා ගෙඩි හට ගැනීමට උදව් වන්නේ මේ මී මැස්සන් බඹරු වගේ කෘමි සතුන් විසින්.එම සතුන් වඳ වෙලා ගියොත් පරාගන ක්‍රියාවලිය අඩපණ වෙලා අස්වනු අඩුවීමට හේතු වෙනවා.විදේශ රටවල ඇතැම් භෝග වගාවන්හි අස්වනු වැඩි කරගැනීමට වගා බිම් වල මී මැසි පෙට්ටි ගෙන ගොස් තබනවා.මී මැස්සන් වඳවුවහොත් ලොව ආහාර අර්බුධයකට යන්න තියෙන ඉඩකඩ වැඩියි.
මී මැසි ජනපදයක මී මැස්සන් වර්ග තුනක් සිටිති.රැජිනක්-මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතාය.ගැහැණු කම්කරු මී මැස්සියන් විශාල ප්‍රමාණයක්-සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය 30000-සිට 5000 දක්වා ප්‍රමාණයකි.පිරිමි මී මැස්සන් සංක්‍යාවක් -වදයක සිටින පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත කාලයේදී හා ආහාර හිඟ කාලවලදී මෙම ප්‍රමාණය අඩු වේ.
මී මැසි රැජින මී මැසි ජනපදයක සිටින ලිංගික වශයෙන් පරිණත භාවයට පත් වූ එකම මී මැස්සියයි.මී වදය තුළ සිටින සියලුම ගැහැණු වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි මී මැස්සන්ගේ මව වන්නේ ඇයයි.මී මැසි රැජිනක් අවුරුදු තුනක් පමණ ජීවත් වන අතර එම කාලය තුළ ඇය මිලියන භාගයක තරම් බිජු ප්‍රමාණයක්ද දමන්නීය.හොඳින් බිත්තර දමන කාලයේ මී මැසි රැජිනක් දිනකට බිත්තර 3000ක් පමණ දමන්නීය.එය ඇයගේ ශරීර බර ප්‍රමාණයටත් වැඩිය.මෙය විශේෂිත අවස්ථාවකි.සරු භාවයෙන් යුත් රැජිනක් ඇගේ බිත්තර දැමීමේ උපරිම කාලයේදී දිනකට 2000ක් පමණ ද,සාමාන්‍ය වශයෙන් 1500ක් පමණද බිත්තර දමන්නීය.මී මැසි රැජිනද සාමාන්‍ය බිත්තරයකින් බිහි වන නමුදු ඇය සාමාන්‍ය මී මැස්සෙකුට වඩා වැඩි ප්‍රමාණයක් "රෝයල් ජෙලි"ආහාරයට ගනී.මෙය ඇයගේ සීඝ්‍ර ශරීර වර්ධනයට මෙන්ම ශරීර ස්වරූප පරිණාමයටද බෙහෙවින් බල පානු ලැබේ.රජ මැස්සිය තම අණසක මී මැසි ජනපදය පුරා පතුරුවා හරින්නේ විවිධාකාර ෆෙරමෝන වර්ග නිපදවා ඒවා පතුරවා හැරීමෙනි,මෙම රසායනයන්ගෙන් එකක් අනෙකුත් සියලු මී මැස්සියන්ගේ බිජ කෝෂ වර්ධනයට බාධා පමුණුවන අතර එම නිසා උන්ගේ බිජු ලෑම නතර වේ.
දින 15 ක සංවර්ධන කාල සීමාවකින් පසු මී මැසි රැජින ඇගේ කුටියෙන් පිටතට අවුත් සංසේචනය වීම සඳහා පිටත්ව යාමට පෙර දින 3 සිට 7 දක්වා අතර කාලයක් ජනපදයේම රැඳී සිටී.සංසේචනය වීම සඳහා ඇයගේ පළමු පියාසර කිරීම මී මැසි ජනපදය තිබෙන ඉසව්ව සලකුණු කර ගැනීමට තරම් සෑහෙන තත්පර කිහිපයකට පමණක් සීමා දුරකට වේ.ඉන් අනතුරුව ආරම්භවන සංසේචන පියාසැරීම මිනිත්තු 5 සිට 30 දක්වා කාලයක් පවතී.මේ සෑම පියාසැරියකදිම ඇය පිරිමි මී මැස්සන් කීප දෙනෙකු සමඟ සංවාසයේ යෙදෙන්නීය.මෙසේ කීප වරක් (සමහර විට වාර 12ක් හෝ ඊට වඩා ප්‍රමාණයක්) සංසර්ගයේ යෙදිමෙන් පසු මිලියන ගණනක් බිජු නිපදවීමට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය රජ මී මැස්සිය විසින් ගබඩා කරගනු ලැබේ.මෙසේ සංසේචනය වීම සඳහා කුමන කාරණයක්(ඇතැම් විට කාලගුණය හෝ ජනපදය තුළ හිරවීමක් වැනි අවස්ථා)නිසා හෝ රජ මැස්සියට ජනපදයෙන් ඉවත් වීමට නොලැබුණොත් ඇයට සරු නොවුණු මැස්සියක් ලෙසට ලෙස තවදුරටත් සිටීමට සිදුවන අතර කම්කරු මී මැස්සන් නිෂ්පාදනය කල නොහැකි වෙයි.මී මැසි ජනපදය අභාවයට යාම සිදු වේ.