Wednesday, April 22, 2015

සමුදුර වනසන බැලාස්ට් ජල උවදුර

දුපත් රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුදින් වටවූ රටකි.මේ නිසාම මුහුද නැතිනම් සමුද්‍රය පිළිබදව අපි අනිවාර්යයෙන් අවධානය යොමු කල යුතුය.විශාල ධිවර ප්‍රජාවක් සිටීම නිසා මෙන්ම මුහුද සමග ශ්‍රී ලංකාවේ පවතින සමීප සබඳතාව නිසා විශේෂයෙන්ම සමුද්‍ර දුෂණය පිලිබදව අවධානය යොමු කිරීම වැදගත්ය.මෙහිදී සමුද්‍ර දුෂණය 90%ක්ම සිදු වනුයේ ගොඩබිම ආශ්‍රිතව සිදුවන කරුණු නිසාය.ඉතිරි 10%ට වගකීමට සිදු වනුයේ නෞකා හා මුහුද ආශ්‍රිත ක්‍රියාමාර්ගවලටය.මෙහිදී විශාලම සමුද්‍රීය දුෂණයක් සිදු වනුයේ බැලාස්ට් ජලය නිසාය.මෙම බැලාස්ට් ජලය නිසා විවිධ වූ අක්‍රමණශීලී ශාක,ජලජ ජීවින් වැනි දේවල් මුහුදු කලාපවලින් මුහුදු කලාපවලට මාරුවීම සිදුවේ.

බැලාස්ට් ජලය යනු නෞකාවක සමතුලිතතාව පාලනය උදෙසා යොදා ගනු ලබන ජලයයි.ලොව භාණ්ඩ ප්‍රවාහනය 90%ක් නෞකා මගින් සිදු කරනු ලබන අතර වාරයකදී මෙම භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී ඊට සමානුපාතව ලෙසට බැලාස්ට් ජලයද ඉවත් කිරීම හා පිරවීම සිදුවේ.ලොව වටා වාර්ෂිකව බැලාස්ට් ජලය සංසරණය මෙට්‍රික් ටොන් බිලියන 10-15 දක්වා වෙතැයි ගණන් බලා ඇත.මෙම ජලය සමග ලොව වටා විවිධ වූ සමුද්‍රීය පරිසරවල වෙසෙන ජීවී විශේෂ 3000ක් පමණ සංසරණය වේ.මේ සිද්ධිය නිසා ලොව වටා වූ සමුද්‍රීය පරිසර වලට සිදුවන හානියද ඇති විශාලය.මෙම බැලාස්ට් ජලය නිසා මේ අනුව සමුද්‍රීය පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීම,සමාජීය හා ආර්ථිකමය හානි හා සෞක්‍ය ගැටළු මතු වේ.

ඒ අනුව බැලාස්ට් ජලය සමග ආගන්තුක පරිසර පද්ධතියකට මාරුවන ජිවියා සහ ශාක නිසා අහාර දාමය මත බලපෑම් ඇති කිරීම,අභිජනන නිකේතන මත බලපෑම් ඇති කිරීම,විලෝපියෙකු ලෙසට ක්‍රියා කිරීම,අධික ලෙසට ව්‍යාප්ත වී වාසස්ථාන ආක්‍රමණය කිරීම,පරිසරයට විෂ එකතු කිරීම,පරිසර පැවැත්මට අවශ්‍ය පාරිසරික සාධකවලට බාධා කිරීම සිදු කරනු ලබයි.

මීට අමතරව බැලාස්ට් ජලය සාමාජික හා ආර්ථික හානියක්ද සිදු කරනු ලබයි.මෙම ජලය සමඟ පැමිණෙන ආගන්තුක ජිව හා ශාක විශේෂ ධිවර දැල් ආම්පන්නවලට හානි කරනු ලබයි.ජල ජීවී වගාවන්ට ව්‍යාධිජනක හානිකර බලපෑම් ඇති කරනු ලබයි.එලෙසම ජල සැපයුම් මාර්ග හා කානු පද්ධති අවහිර කිරීම සිදු වේ.මෙම සිද්ධිය නිසා සෞඛ්යමය ගැටලුද මතුවන අතර සංක්‍රමණික ජීවීන් නිසා දුෂිත වූ ජලය පරිභෝජනය කිරීම නිසා කොළරාව වැනි රෝගාබාධ වැළඳීමට ඉඩ තිබේ.එම ජීවින් මඟින් විෂ වූ මත්ස්‍යයින් ආහාරයට ගැනීම නිසා මරණය පවා ඇති වේ.
 


මේ නිසා බැලාස්ට් ජල ගැටලුව සඳහා විසඳුම් සෙවීමට අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතුය.මේ උදෙසා ලොව පුරා රටවල සාමූහික අවධානය තිබෙනුයේද මේ නිසාමය.මේ නිසාම ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය මඟින් බැලාස්ට් ජල සම්මුතියක් පවා සකස් කර තිබේ.මේ උදෙසා බ්‍රසීලය දැනටමත් අත්සන් තබා ඇත.ඕස්ට්‍රේලියාව,කැනඩාව වැනි රටවල් නවයටම නීති පද්ධතියක් මේ උදෙසා සකස් කර ක්‍රියාවට නංවමින් සිටියි.එලෙසම ගෝලීය බැලාස්ට් ජල කළමනාකරණ ව්‍යාපෘතිය දැනට ඉන්දියාව,බ්‍රසීලය,චීනය,ඉරානය,දකුණු අප්‍රිකාව,යුක්රේනය යන රටවල නියමු ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාවට නංවමින් සිටියි.දකුණු ආසියාවේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම උදෙසා ඉන්දියාව සිය අසල්වැසි රටවල් 06ක් සහභාගී කරවා ගෙන සිටින අතර ඒ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව සිටීම සතුටට කාරණයකි.

මෙම බැලාස්ට් ජලය මඟින් සංක්‍රමණය වන ජීවින් විනාශ කිරීමට පියවර ගත හැකිය.එහිදී පෙරීම,වෙන් කිරීම,ජීවානුහරණය,විද්‍යුත් ධාරා යැවීම,තාපය මඟින් ඔක්සිජන් කෘත ජලය යෙදීම,රසායනික ක්‍රම,විකිරණ මඟින් ඒවා විනාශ කිරීමට ගත හැකිය.එලෙසම දැනුවත් කිරීම,වරායට පැමිණෙන නැව් පිළිබඳ වාර්තා හා ජාතික තොරතුරු පද්ධතියක් පිහිටු වීම,බැලාස්ට් ජලය මාරු කිරීම,ආරක්ෂිතව හා බලපෑම් රහිතව කළමනාකරණය කිරීම,නීති පද්ධතියක් සැකසීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම,වරායන්,නැව් මාර්ග හා සංවේදී පරිසරයන් ආශ්‍රිතව ජෛව විවිධත්වය ක්‍රමවත්ව හා දීර්ඝකාලීනව නිර්ණය කිරීමේ වැඩසටහන් දියත් කිරීම වැනි දේද සිදුවේ.

මේ සියල්ලෙහි අවසාන අපේක්ෂාව වනුයේ ලොව ඕනෑම රටක සමුද්‍රීය පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමය.මේ උදෙසා ශ්‍රී ලංකාවද දායකව සිටීම සතුටු දායක කාරණයකි.


No comments:

Post a Comment